Sri Lankan Cinema news

2017 වසර සඳහා සරසවි සම්මානයෙන් පුදලැබූවෝ


සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි

*********************************************************************

පසුගිය සිකුරාදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී නිමාව දුටු 34 වෙනි සරසවිය සිනමා සම්මාන උළෙලේදී, 2017 වසරේදී තිරගත වූ සිනමාපට 26ක් අතුරින් වසරේ විශිෂ්ඨතම සිනමාපටය ලෙසින් ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කල සහ රසිත ජිනසේන නිෂ්පාදනය කල ‘විසි අට’ සිනමාපටය සම්මානයට පාත්‍ර වූ අතර, එහිදී වසරේ ජන ආකර්ශනීයම සිනමාපටය ලෙසින් චෙයියාර් රවී අධ්‍යක්ෂණය කල සහ මහරාජා එන්ටර්ටෙයින්මන්ට් ආයතනය නිෂ්පාදනයන කල ‘ධර්මයුද්ධය’’ සිනමාපටය සම්මානයට පාත්‍රවිය. 2017 වසරේදී තිරගත වූ සිනමාපට අගයනු වස් මේ වසරේ පැවති දෙවෙනි සිනමා සම්මාන උලෙළ මෙය වූ අතර , පසුගිය මැයි මස පැවති 06 වෙනි දෙරණ සිනමා සම්මාන උලෙළේදීද පෙරකී සම්මාන ද්විත්වය එලෙසින්ම දිනා ගැනීමට ‘විසි අට’ සහ ‘ධර්මයුද්ධය’’ සමත් වීම විශේෂත්වයකි.

2017 වසරේදී තිරගත වූ සිනමාපට අතුරින් නිර්මාණ 13 ක් සරසවි සම්මාන උළෙලේදී සම්මාන 27 කින් පිදුම් ලැබීමට සමත් වූ අතර, එහිදී වැඩිම සම්මාන සංඛ්‍යාවකින් (05 ක්) පිදුම් ලැබූ සිනමාපට ලෙසින් සමතැන් ගැනීමට ‘විසි අට’ සහ චත්‍ර වීරමන්ගේ ‘ආලෝකෝ උදපාදී’ සමත් විය. එහි තෙවෙනි තැන ආරියවංශ දෙසොයුරන්ගේ ‘ප්‍රේමය නම්’ සිනමාපටයට හිමිවිය.

දෙරණ උළෙල හා සැසදීමේදී සරසවි සම්මාන උළෙලේ ජූරී තීරණයන්හී බොහෝ වෙනස්කම් දක්නට ලැබුනු අතර , එහිදී දෙරණ සිනමා සම්මාන උලෙළේදී ‘හොඳම නළුවා’ වෙනුවෙන් නිර්දේශිත නාමයන් අතරට හෝ එක් වීමට සමත් නොවූ සෞම්‍ය ලියනගේ සරසවි සිනමා සම්මාන උලෙළේදී ‘හොඳම නළුවා’ ලෙසින් කිරුළ දැරීම කැපී පෙනුනි. එසේම දෙරණ උළෙලේදී හොඳම නිළිය සම්මානය ලද දිල්හානි ඒකනායකට සරසවිය උළෙලේදී එකී සම්මානයෙන් පිදුම් ලැබීමේ අවස්ථාව අහිමිව ගිය අතර, එහිදී සමනලී ෆොන්සේකා සිය සිනමා රංගන ගමන්මගේ පළමු වරට ‘හොඳම නිළිය” ලෙස කිරුළ දරමින්, සරසවි සම්මාන උලෙළක ‘හොඳම නිළිය” සම්මානයෙන් පිදුම් ලද 21 වෙනි රංගන ශිල්පිනිය ලෙසින් ඉතිහාසයට එක්විය.

2017 සම්මාන විසිරීම—-
විසි අට- සම්මාන 05/ ආලෝකෝ උදපාදි- සම්මාන 05/ ප්‍රේමය නම්- සම්මාන 03/ ධර්මයුද්ධය- සම්මාන 02/ නිනෝ ලයිව්- සම්මාන 02/ අලි කතාව- සම්මාන 02/ බන්ධනය- සම්මාන 02/ නිම්නයක හුදකලාව- සම්මාන 01/ සුළඟ ගිනි අරන්- සම්මාන 01/ කාල- සම්මාන 01/ ඒ ලෙවල් – සම්මාන 01/ පහ සමත්- සම්මාන 01/ දේදුනු ආකාසේ- සම්මාන 01

උළෙලේ ප්‍රධාන ජූරිය—–
ගාමිණී වේරගම (සභාපති)/ බුද්ධදාස ගලප්පත්ති / තිලකරත්න කුරුවිට බණ්ඩාර/ වසන්ත කොටුවැල්ල/ අරුණ ලොකුලියන/ සමන්තිකා ප්‍රියදර්ශනී/ රෝහණ වෙත්තසිංහ

2017 ප්‍රණාම සිනමා සම්මාන ඛාණ්ඩය——
•රණ තිසර සම්මානය: ධර්මසිරි බණ්ඩාරනායක / ශ්‍රියානි අමරසේන
•රණපාල බෝධිනාගොඩ සාහිත්‍ය සම්මානය: ඩයස් ගුණරත්න

ජනප්‍රිය සිනමා සම්මාන ඛාණ්ඩය—-
•වසරේ ජනප්‍රියම සිනමාපටය (Blockbuster Movie of the Year- 2017 ): ධර්මයුද්ධය -(අදායම රුපියල් කෝටි 22.4)

2017 විශිෂ්ටතා සිනමා සම්මාන ඛාණ්ඩය——-
•හොඳම චිත්‍රපටය (Best Picture): විසි අට
•හොඳම සිනමාකර්ශණීය සිනමාපටය: ආලෝකෝ උදපාදි (චත්‍ර වීරමන්)
•හොඳම අධ්‍යක්ෂකවරයා (Best Director): ප්‍රසන්න ජයකොඩි (විසි අට)
•හොඳම තිරරචනය (Best Screenplay): ප්‍රසන්න ජයකොඩි (විසි අට)
•හොඳම නළුවා (Best Actor): සෞම්‍ය ලියනගේ (නිම්නයක හුදකලාව)
•හොඳම නිළිය (Best Actress): සමනලී ෆොන්සේකා (ප්‍රේමය නම්)
•හොඳම සහාය නළුවා (Best Supporting Actor): රොෂාන් රවීන්ද්‍ර (සුළඟ ගිනි අරන්)
•හොඳම සහාය නිළිය (Best Supporting Actress): යුරේනි නොෂිකා (නිනෝ ලයිව්)
•හොඳම නැගීඑන නළුවා (Best Upcoming Actor): දිනෙත් ද සිල්වා (ආලෝකෝ උදපාදි)
• හොඳම නැගීඑන නිළිය (Best Upcoming Actress): තිසුරි යුවනිකා (ධර්මයුද්ධය)
•හොඳම සිනමා කැමරාකරණය (Best Cinematography): චන්දන ජයසිංහ (විසි අට)
•හොඳම සංස්කරණය (Best Editing): රංගන සිංහාරගේ (විසි අට)
•හොඳම ශබ්ද සැලසුම්කරණය (Best Sound Design): සසික රුවන් මාරසිංහ (ආලෝකෝ උදපාදි)
•හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය (Best Original Music Score): රෝහණ වීරසිංහ (ප්‍රේමය නම්)
•හොඳම කලා අධ්‍යක්ෂණය (Best Art Direction): සුනිල් විජේරත්න (ආලෝකෝ උදපාදි)
•හොඳම වේෂ නිරූපණය (Best Make up): ජයන්ත රණවක (ආලෝකෝ උදපාදි)
•හොඳම ගී පද රචනය (Best Lyrics): රජී වසන්ත වෙල්ගම – දහදිය සුවඳ මහනෙලක් (කාල)
•හොඳම පසුබිම් ගායකයා (Best Singer- Male): දුමාල් වර්ණකුලසූරිය – නිවීගිය සඳ පහන (ප්‍රේමය නම්)
•හොඳම පසුබිම් ගායිකාව (Best Singer- Female): විදුෂා නේත්‍රාංජලී- සීත ගඟූල් ඇද හැලේ (අලි කතාව)

2017 කුසලතා සම්මාන ඛාණ්ඩය—–
•සහේලි සතරසිංහ (‘බන්ධනය’ හී රංගනය වෙනුවෙන්)
•කේෂලී රාජපක්ෂ (‘ඒ ලෙවල් ‘ හී රංගනය වෙනුවෙන්)
•අමිරු කෝරළගේ (‘පහ සමත්’ හී රංගනය වෙනුවෙන්)
•ඉරෝෂාන් මදුසංක (‘අලි කතාව’ හී ‘ නිල් තණ කොල බුදින්ටයි’ ගීතය ගායනය වෙනුවෙන්)
•තිසර ඉඹුලාන (‘නිනෝ ලයිව්’ අධ්‍යක්ෂණය වෙනුවෙන්)
•රංග එස්. බණ්ඩාර (‘දේදුනු ආකාසේ’ කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන්)
•සිද්ධාර්ථ නයනානන්ද, බුද්ධික විජේරත්න, සමින්ද වටවල විතානගේ (‘බන්ධනය’ හී පරිගණක ග්‍රැපික් නිර්මාණය වෙනුවෙන්)

තිරගත නොවූ කුළුදුල් සිනමාපට ඇගයීම උදෙසා වූ සම්මාන ඛාණ්ඩය- 2017—
ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මාන ජූරිය—–
ප්‍රසන්න විතානගේ/ අශෝක හඳගම/ විමුක්ති ජයසුන්දර/ අනෝමා රාජකරුණා/ උදයකාන්ත වර්ණසූරිය/ බූඩී කීර්තිසේන
•හොඳම සිනමාපටය උදෙසා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය: සම්මානය පිරිනොනමන ලදී
•ලෙස්ටර් ජේම්ස් පීරිස් ජූරියේ විශේෂ සම්මානය : රතු සමනල හීනයක් (ප්‍රියන්ත කළුආරච්චි)

 


පාංශු – පළමු ජාත්‍යන්තර ප්‍රදර්ශනය කැනඩාවේදී


                                                                      

නීතිඥ විසාකේස චන්ද්‍රසේකරන්, ශ්‍රී ලංකාවේ සිනමාව නාට්‍ය කලාව සමග ගැවසෙන රසිකයින්ට අමුතුවෙන් හඳුන්වාදිය යුතු අයෙක් නොවෙයි. වෘත්තියෙන් මානව හිමිකම් නීතිඥයකු වන විසාකේස නාට්‍යකරණය, සිනමාව ග්‍රන්ථ රචනය ආදී ක්ෂේත්‍ර රැසකින් කලානිර්මාණ ඉදිරිපත් කොට තිබෙනවා. ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය සයපෙති කුසුම චිත්‍රපටය, විවිධ සම්මාන උළෙල නියෝජනය කරමින් සම්මාන රැසකට හිමිකම් කීමට සමත් වුනා. විසාකේස නිර්මාණය කළ දෙවැනි චිත්‍රපටය “පාංශු” ගැන මේ දිනවල කතාබහට ලක්වනවා.

“පාංශු” චිත්‍රපටය මගින් ඔහු, මෙතෙක් දේශීය සිනමාවේ ගැඹුරින් ග්‍රහණය කර නොගත් මාතෘකාවක් පිළිබඳව සාකච්චාවට ලක් කෙරෙනවා. ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ සිදුවූ විවිධ අරගල අතරින් 88/89 වර්ෂයන්හි සිදුවූ දේශපාලනික අරගලය පිළිබඳව සහ එහි අතුරු ප්‍රථිපල පිළිබඳව මෙතෙක් සිනමාවෙන් අවධානයක් යොමුව තිබුනේ නැහැ. ඒ හිඩැස පිරවීමට විසාකේසගේ පාංශු චිත්‍රපටයට හැකිවූ බවට මත පලවී තිබුනා. අතුරුදන් කරන ලද සිය එකම පුත්‍රයා වෙනුවෙන් යුක්තිය ඉල්ලා අධිකරණයේ පිහිට පතන මවක්, සහ සිය නූපන් දරුවා වෙනුවෙන් ස්වාමියාගේ වැරදි සියල්ලට නීතියේ රැකවරණය සහ හෘදසාක්ෂියේ සමාව අයදින ගැබ්බර බිරිඳක් හරහා භීෂණ සමයේ සමාජ දේශපාලනික ඛේදවාචකය ගොඩනැංවීමට විසාකේස සමත්වුනා.

පාංශු චිත්‍රපටය ශ්‍රී ලංකාවේ එක වරක් පුළුල්තිර මහජන ප්‍රදර්ශනයක් පවත්වා තිබෙනවා. නමුත් එහි පළමු ජාත්‍යන්තර ප්‍රදර්ශනය සිදුවුයේ පසුගිය සැප්තැම්බර් 01 වැනිදායි. 2018 Montreal world film festival සඳහා සුදුසුකම් ලද පාංශු පසුගිය 01 වැනිදා කැනඩාවේ Cinema Cineplex odeon quartier latin සිනමාහලේදී ප්‍රදර්ශනය කෙරුනා. අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරන් සහ ප්‍රධාන නිළිය නීටා ප්‍රනාන්දු මේ අවස්ථාවට සම්බන්ධව සිටියා. කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක්ද සිනමා දර්ශනය සඳහා එක්ව සිටි බව සඳහන්. අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 3 වැනිදා දක්වා මොන්ට්‍රියෙල් සිනමා උළෙල පැවැත්වුනා.

 


කලංසූරියට දැන් හොඳටම සුවයි


                                                                      

පසුගිය කාලය තුළ දේශීය සිනමා ක්ෂේත්‍රය වගේම සිනමාලෝලීන් කැළඹීමට ලක්කළ ආරංචියක් පැතිර ගියා. ප්‍රවීණ ජනප්‍රිය රංගවේදී අමරසිරි කලංසූරිය ශිල්පියා අසාද්‍ය තත්වයෙන් රෝහල්ගත කළ බව ඒ ආරංචියෙන් කියැවුනා. සිනමාවට ආදරය කරන වගේම කලංසූරිය රංගන ශිල්පියාට ආදරය කළ රසිකයින් බොහොමයක් මේ ආරංචිය සමග කම්පාවට පත්වුනා. රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් කලංසූරිය රංගන ශිල්පියා ප්‍රතිකාර නිමවා රෝහලින් නික්ම ගිය බව අසා රසිකයින් සතුටට පත්වූ නමුත් ඔහු සම්පුර්ණ සුවය ලබා තිබුනේ නැහැ. කෙසේ වෙතත් ඊයේ (සැප්. 13 වැනිදා) වනවිට ලැබුනු ආරංචි අනුව කලංසූරිය රංගවේදියා බොහෝ දුරට සුවය ලබා ඇති බවත්, ඔහු සාමාන්‍ය තත්වයෙන් පසුවන බවත් දැනගන්නට ලැබෙනවා. සරසවිය සිනමා පුවත්පතේ උප කතෘ නුවන් නයනජිත් මාධ්‍යවේදියා වෙත දුරකථන මාර්ගයෙන් ඇමතූ බවත් තමා අසනීප වූ අවස්ථාවේ උපකාර කළ සහ සුවය ප්‍රාර්ථනා කළ සියළුම දෙනා වෙත සිය ස්තුතිය පළකර සිටින බව ලියන්නැයි කලංසූරිය රංගවේදියා ඉල්ලා සිටි බවත් ඔහු සිය Facebook පිටුවේ සටහන් කර තිබුනා. ඒ සටහන මෙසේයි.

නුවන් නයනජිත් කුමාර මාධ්‍යවේදියාගේ සටහන

මා හිතාදර මිතුරු මිතුරියනි.අද උදෑසන මගේ ජංගම දුරකථනය නාද වූයේය.මා ඒ දෙස බැලූ කල එහි මුහුණතෙහි “Kalan uncle”යන්නෙන් සටහන් වී තිබිණ.මා ඊට පිළිතුරු සපයන්නට පටන් ගත්තේ එතුමාගේ හඬ ඇසේවා යන පැතීමෙනි.එය එලෙසින්ම ඉටු විය. කලං අංකල් මා ඇමතුවේය. එය එතුමාගේම වචනයෙන් මෙසේය. “පුතා මට අද තමයි හරිහැටි සිහියක් ආවේ. පසුගිය මාසයක කාලයක් මට මොනවා වුණාද කියලා මම දැනගෙන හිටියේ නෑ.මට වෙච්ච දේ ගැන පවුලේ අයගෙන් මම දැනගත්තා. තව ජීවත් වෙන්න මං පින් කරල තිබුණා කියල හිතුණා. පුතා මං ඔයාට කතා කළේ මංදැඩි ලෙස අසනීප වෙලා රෝහල් ගත වෙලා හිටපු කාලේ මට විවිධාකාරයෙන් පිහිට වූ උපකාර කළ වෛද්‍යවරු රෝහල් කාර්ය මණ්ඩලය ,ජනාධිපතිතුමා සහ ප්‍රවීණ කලාකරුවන් ඒ වගේම මගේ ජීවිතේ රැකල දෙන්න කියලා ඉල්ලා සිටිමින් බෝධි පූජා කළ, යාඥා කළ මට අසීමිතව ආදරය කරන මේ රටේ ජනතාවට මං ඉතා ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා කියලා ඔයාට ලියන්න කියන්න.මේ බව පත්‍රවලටත්, මාධ්‍යයටත් දැනුම් දෙන්න.බොහොම පින් හැමෝටම”.

ප්‍රවීණ රංගවේදී අමසිරි කලංසූරිය මහතාට දීර්ඝායු ලැබේවායි cinema.lk අප සමස්ථ ශ්‍රී ලංකාවාසීන් සමග එක්ව ප්‍රාර්ථනා කරසිටිමු.